Monday, February 12, 2024

එලීනා - පළමුවන පරිච්ඡේදය

විවේක කාලය අවසන් වන බවට දන්වන සීනුව නාද විය. "පල්ලෙහා ඉස්කෝලෙ ළමයි දැන් යන්න"  එලීනාගේ උස් හඬ පිටිය කෙළවරෙන් ඇසුණි. කුඩා ළමුන් ඇගේ අණට කීකරු වී පන්ති කාමර වෙත දිව ගියේ "බායි එලී අක්කා" යයි එකිනෙකා පරයමින් කෑගසමිනි. "එලී දැන් ඉංග්‍රීසි පීරීයඩ් එක" ඒ ශේන්ය.  මිතුරන් තිදෙනා ඒ මොහොතේ ම වහා ක්‍රියාත්මක වූයේ ඩික්ටේෂන් සිහි වීමෙනි. ඒ වන විටත් විනාඩි දෙක තුනක ප්‍රමාදය පසුතැවීමට හේතු සකස් කර හමාරය. 

ගුරුතුමිය පන්තියට පැමිණ සිටි අතර පන්ති නායිකාව රොෂෙල් ඩික්ටේෂන් කට පාඩමින් කියමින් සිටියාය.  සෙල්ලම් කිරීමට නොපැමිණි රයිනි ඒ වන විටත් සිය ඩෙස්ක් එකේ ඩික්ටේෂන් ලියාගෙන සිටියාය. ගොත ගසමින් රයිනි පාඩම් දුන් පසු එලීනාගේ වාරය උදා විය.එලීනා "ටීචර් මට අද පාඩම් කරගෙන එන්න බැරි උනා..මං අනිවාර්යයෙන්ම හෙට පාඩම් කරගෙන එන්නම්" යැයි බැගෑපත් හඬින් පැවසුවේ ගුරුතුමියගේ ඝර්ජනාවට දෙසවන් සූදානම් කර ගනිමිනි. මීට ටික වේලාවකට පසු එලීනා සහ සගයන් දෙදෙනා පන්තිය ඉදිරියේ දණ ගසාගෙන සිටිණු දක්නට ලැබුණි.

එලීනා ගියේ ගමේ පාසලට ය. කණිෂ්ඨ පාසලක් වූ එය ගම්මානය මධ්‍යයේ දර්ශනීය කඳුගැටයක පිහිටා තිබුණි. කුඩා බුදු මැදුරක් ඇතුළුව ගොඩනැගිලි දෙකකින් සමන්විත වූ එහි ප්‍රාථමික අංශය හා ද්විතීයික අංශය පටු බෑවුමකින් වෙන් වී තිබුණි. අංශ දෙකේම සිසු සිසුවියන් එකට මුහු වන්නේ සඳුදා උදෑසන හමුව, සිකුරාදා දිනයන්හි පැවැත්වෙන විවිධ සමිති හා විශේෂ අවස්ථාවන්හි පමණකි. විවේක කාලයේදී අංශ දෙකේම සිසුන් එකට සෙල්ලම් කරන අවස්ථා ද කලාතුරකින් දැකිය හැකි නමුත්  බොහෝ විට එවැනි දිනවල විවේක කාලය අවසන් වන්නේ ගුරුභවතුන්ට පැමිණිලි රාශියක් විභාග කිරීමේ අවස්ථාව හිමි කර දෙමිනි.

එලීනාගේ පන්තියේ සිසුන් පස්දෙනෙක් විය. එලීනා ඉගෙනුමට දක්ෂ සිසුවියක් වූ නමුත් ඇය ඒ වෙනුවෙන් විශේෂ උනන්දුවක් නොදැක්වූවාය. පන්තියේ සියලු කටයුතුවලදී පෙරමුණ ගත්තේ ඉතා දක්ෂ සිසුවියක් වූ රොෂෙල් ය. පන්ති කාමරයේ වැඩවලදී අලස සිසුවියක් වූ එලීනා විෂය බාහිර ක්‍රියාකාරකම්වල දී ප්‍රමුඛත්වය දැරුවේ දැඩි උද්යෝගයකිනි.

ඉංග්‍රීසි ගුරුතුමිය පන්තියෙන් නික්ම ගියාය. සියලු දෙනා නොයිවසිල්ලෙන් සිටියේ ඇගේ උස අඩි සපත්තුවල ටක් ටක් හඬ නෑසෙන තුරුය. ඒ සමඟම සියලු දෙනා මුහුණට මුහුණ බලාගත්තේ පුපුරා යාමට ආසන්න හිනාවක් අසීරුවෙන් දරා ගනිමිනි. එවිටම පන්ති නායිකාව වූ රොෂෙල් අසුනින් නැගී සිටියාය. එලීනාගේ දීප්තිමත් ඇස්වල තද දුඹුරු පැහැය මලානික විය. ඇගේ  ලා රෝස පැහැති සිහින් තොල් එකිනෙක මත තෙරපී ගියේ ක්ෂණයකිණි. ඇගේ බලාපොරොත්තු සුන් වූ දෑස් ඉදිරියේ ගණිතය විෂය උගන්වන ගුරුතුමිය පෙනී සිටියාය.

අවසන් කාල පරිච්ඡේද දෙක ගෙවී ගියේ ඉබි ගමනිනි. අවසානයේ පැය කටුව එකේ ඉලක්කම ළගත් මිනිත්තු කටුව හතරේ ඉලක්කම ළඟත් නතර වී තිබුණි. තත්පර කටුව පමණක් ඉලක්කම් පසුකරමින් සිටියේ සිසුන්ගේ නොයිවසිල්ල ගණනකට නොගනිමිනි. එලීනා මෙන්ම සගයන් ද වරින් වර ඔරලෝසුව දෙස බැලුවේ නොයිවසිල්ලෙනි. "දෙවියනේ! ඔරලෝසුව නැවතිලාවද්ද?"
සීනුව නාද විය. පාසල අවසන්! 

පාසලේ සිට නිවස බලා යන කාලය සැහැල්ලු ය. ප්‍රීතිමත් ය. පාසලේ පඩිපේළි අවසන් වන තෙක් එක පොකුරට පඩියෙන් පඩියට පනිමින් සියලුදෙනා එක්ව දිවයන්නේ පාසලට ආසන්න කුඩා රසකැවිලි කඩයටය. එහි ටොපි, චොකලට්, රසකැවිලි, අයිස් පැකට් ආදී නොයෙක් කඩචෝරු ක්‍රමවත්ව අසුරා තිබේ. එලීනා පන්තියේ සියලුදෙනා සතුව ඇති රුපියල් දෙක, පහ, දහය එකතු කර ගත්තාය. සියල්ලන්ගේ කැමැත්ත පරිදි රුපියල් දෙකේ අන්නාසි රසැති අයිස් පැකට් හතක් හා තවත් කඩචෝරු ගත් ඇය සියලුදෙනා අතර එය බෙදා දුන්නාය. දැන් ඔවුන්ට තවදුරටත් සිතා වෙහෙසීමට දෙයක් නොමැත. 

කතාව ඉංග්‍රීසි පීරීයඩ් එකේ සිදු වූ කලබැගෑනිය අතට හැරුණේ ඉබේටම ය.ඔවුන්ගේ සිනාහඬ ගම වට කරගෙන ඉදිරියෙන් ඇති කඳු මුදුනේ වැදී දෝංකාර දුනි. අවසානයේ මාර්ගය  බෙදී යන ප්‍රධාන මංසන්දියේ දී මිතුරන් එකිනෙකාට සුභපතමින්  සමුගත්තෝය. කෙටි දුරක් ඉදිරියට දිව ගිය එලීනා "මං හෙට ඩික්ටේෂන් පාඩම් කරන් එනවා" යැයි හඬනගා මිතුරන්ට කීවාය.  ඇසිල්ලකින් නැවතත් සිනාහඬ පුපුරා ගියේ හෙට දිනය සම්පූර්ණයෙන්ම අමතක කරවමිනි.

1 comment:

Anonymous said...

Very interesting story darlinh😘🥰♥️

එලීනා - පළමුවන පරිච්ඡේදය

විවේක කාලය අවසන් වන බවට දන්වන සීනුව නාද විය. "පල්ලෙහා ඉස්කෝලෙ ළමයි දැන් යන්න"  එලීනාගේ උස් හඬ පිටිය කෙළවරෙන් ඇසුණි. කුඩා ළමුන් ඇගේ...